
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පසුගිය වසර පහේදී රුපියල් මිලියන පන්ලක්ෂ හතළිස් එක්දහස් අටසියයක ආදායමක් ලබා තිබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
ඉකුත් 2021 වසරේදී රුපියල් මිලියන 102,348ක් හා 2022 වසරේදී රුපියල් මිලියන 107,710ක් වශයෙන් සමාගම ආදායම් ලබා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
2023 වසරේ ආදායම රුපියල් මිලියන 106,418ක් බවත් ඒ මහතා කීවේය. 2024 වසරේ රුපියල් මිලියන 111,148ක් හා 2025 වසරේදී රුපියල් මිලියන 114,176ක් ලෙස ආදායම් ලබා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 30.8ක ආදායමක් ලබා ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.8ක වර්ධනයක් බවයි.
එමෙන්ම පසුගිය 2021 වසරේදී සමාගම රුපියල් මිලියන 12,161ක ලාභයක් ලබා තිබෙන බවත් 2022 වසරේදී එම ලාභය රුපියල් මිලියන 4,765ක් දක්වා අඩු වී තිබෙන බවත් කී ඒ මහතා, 2023 වසරේ සමාගම රුපියල් මිලියන 3,921ක ශුද්ධ අලාභයක් ලබා තිබෙන බව ද අනාවරණය කළේය.
2024 වසරේදී රුපියල් මිලියන 3,120ක් හා 2025 වසරේදී රුපියල් මිලියන 11,014ක ලාභයක් ලබා තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.