Photoshop හැදුවෙ ඇත්තටම Adobe ලා නොවෙයිද ?

 අද වන විට Photo Editing සහ Digital Art ගැන කතා කරද්දී හැමෝටම මුලින්ම මතක් වෙන නම තමයි "Photoshop" කියන්නේ.. ෆොටෝ එකක් එඩිට් කරනවට "Photoshop කරනවා" කියලා කියන්න තරම් මේ නම අපේ එදිනෙදා වචන මාලාවට එකතු වෙලා තියෙනවා..

හැබැයි ලොව පුරා designersලා මිලියන ගණනක් භාවිත කරන මේ දැවැන්ත මෘදුකාංගය ඇත්තටම මුලින්ම නිර්මාණය කළේ Adobe සමාගම විසින් නෙවෙයි කියලා ඔයා දැනගෙන හිටියාද..? 

1987 වසරේදී Michigan විශ්වවිද්‍යාලයේ Computer Vision පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටි Thomas Knoll කියන ශිෂ්‍යයා තමන්ගේ Macintosh Plus පරිගණකයේ වැඩ කරමින් සිටියා.. එකල පැවති Monochrome screen මත Grayscale images නිවැරදිව බලාගැනීමට නොහැකි වීම නිසා, ඔහු තමන්ගේ විවේක කාලයේදී "Display" කියලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගත්තා..

මේ අතරේ, George Lucas විසින් ආරම්භ කළ සුප්‍රකට "Industrial Light & Magic" (ILM) සමාගමේ Visual Effects ශිල්පියෙකු ලෙස සේවය කළ ඔහුගේ බාල සොහොයුරු John Knoll, මේ පුංචි ටූල් එක තුළ තිබූ දැවැන්ත විභවය හඳුනා ගත්තා..

පින්තූරයක් කියන්නේ සංඛ්‍යා සමූහයක් බවත්, ඒ හරහා ඕනෑම මැජික් එකක් කළ හැකි බවත් තේරුම් ගත් ජෝන්, Hollywood චිත්‍රපටවල අවශ්‍යතාවලට ගැළපෙන පරිදි Filters, Gamma correction සහ විවිධ File formats එකතු කරමින් මෙය තනි මෘදුකාංගයක් බවට පත් කරන ලෙස තම සහෝදරයාට යෝජනා කළා..

තෝමස් ප්‍රධාන Coding කටයුතු සිදු කරද්දී, ජෝන් සිය ප්‍රායෝගික අදහස් සහ Features ඊට එක් කළා.. "Display", "ImagePro" සහ "PhotoLab" වැනි නම් කිහිපයකට පසුව, අවසානයේ ඔවුන් මේ මෘදුකාංගය "Photoshop" ලෙස නම් කළා.. ඔවුන් මෙය Silicon Valley සමාගම් ගණනාවකට මෙය පෙන්වුවත් කිසිවෙකුගෙන් ලොකු උනන්දුවක් ලැබුණේ නැහැ.. නමුත් 1988 සැප්තැම්බර් මාසයේදී මෙහි ඇති වටිනාකම තේරුම් ගත් Adobe සමාගම, මෙය License කර බෙදාහැරීමට එකඟ වුණා.. 

ඒ අනුව, 1990 පෙබරවාරි 19 වන දින ප්‍රථම "Adobe Photoshop 1.0" වෙළඳපොළට නිකුත් කෙරුණා.. පසුව 1995 දී Adobe සමාගම ඩොලර් මිලියන 34.5ක මුදලකට Photoshop හි සම්පූර්ණ අයිතිය මිලදී ගත්තා.. තෝමස් නෝල් වසර ගණනාවක් පුරා Photoshop හි ප්‍රධාන ඩිවලොපර් ලෙස කටයුතු කළ අතර, ජෝන් නෝල් Star Wars ඇතුළු දැවැන්ත චිත්‍රපටවල Visual Effects අධ්‍යක්ෂණය කරමින් පසුව ILM හි Chief Creative Officer බවට පත්වුණා.. සිනමා සහ තාක්ෂණික ක්ෂේත්‍රයට කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් 2019දී Academy Awards සම්මානයෙන් පවා මේ සොහොයුරන් දෙදෙනා පිදුම් ලැබුවා..

එදා PostScript සහ Illustrator හරහා මුද්‍රණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වී සිටි Adobe සමාගමට, Photoshop එකතු වීමත් සමඟ සමස්ත ඩිජිටල් නිර්මාණ ක්ෂේත්‍රයේම අසමසම රජු බවට පත්වීමට හැකිවුණා..

විශාල පර්යේෂණාගාරයක නොව, තනි කාමරයක් තුළ සොහොයුරන් දෙදෙනෙකුගේ අවශ්‍යතාවයක් සහ නොපසුබට උත්සාහය නිසා බිහිවූ මේ පුංචි කේත එකතුව, අද මුළු ලෝකයේම Photography, Advertising, Film සහ Digital Art ක්ෂේත්‍රයන් සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබීම සැබවින්ම අපූරු තාක්ෂණික විප්ලවයක්.. 

Source : Dinith Maleesha

adobe photoshop owner
Previous Post Next Post